Saturday 13 August 2022

අරගලය සහ විය යුත්ත

දේශයක් අයිති මහජනතාවටය.

දේශය පාලනය කළ යුත්තේ මහජනතාවට උපරිම ප්‍රතිලාභ සමානාත්මතාවයෙන් භුක්ති විඳින්නට හැකි වන අයුරිනි.

මේ දේවල් ආයෙ ආයෙත් මතක් කර දීමට සිදුවෙලා තියෙනවා ය. 

වැඩවසම් කාලයේ ඉඩම් හිමි වංශවතුන්, තමන්ගේ ඉඩම්වල පදිංචිවී හිටි ප්‍රවේණි දාසයන්ගේ අයිති කාරයා ය. ප්‍රවේණි දාසයන්ට ජීවත් වෙන්නට යන්තම් සොච්චමක් දීලා උන්ගේ ශ්‍රමය නොමිලේ ම ඉඩම්වලට යොදවා ගන්නට පුළුවන් ය. 

දැන් කියලාත් වැඩි වෙනසක් නැත. පෙට්‍රල් ඩීසල් පෝලිම අඩු උනහම ඇති ය. ගෑස් රුපියල් දෙසීයකින් විතර අඩු උනහම ඇති ය.

අරගලය පටන් ගන්න කොට ම ඒකට සහභාගී උනු පාවෙන ඡන්ද කාරයන්ගේ අරමුණු අතරේ තිබුණේ මේ ජරා ජීර්ණ සිස්ටම්  එක වෙනුවට මහජනතාව වෙනුවෙන් රට පාලනය කරන සිස්ටම් එකක් හදා ගැනීමය. මාත් එක්ක කතා කළ සෑහෙන දෙනෙක් කතා කළේ අලුත් ව්‍යවස්ථාවක් මේ ගමන්ම හදා ගත යුතු බව ය. කොටිම්ම කියතොත් හොරෙක් රට පාලනයට පත් උනා උනත්, ඌටත් හොරකං කරන්ඩ බැරි ව්‍යවස්ථාවක් හදා ගන්න එකය.

වැඩේ තියෙන්නේ මේකත් අපේ බහුතර මහජනතාවට කවුරුන් හරි කරලා දෙන්නට ඕනේ වීමය. විප්ලවයක් කළ යුතු වුණත් ඒ මගේ පුතා නොවේ, වෙන අයගේ පුත්තු විය යුතු ය.

අරගල කාරයන් අත් අඩංගුවට ගත්තාම රොත්ත පිටින් උසාවියේ පෙනී හිටපු නීතිඥ ප්‍රජාව මේ වැඩේට අත ගහනු ඇතැයි සමහරු හිතුවෝ ය. 

පරණ උපාය මාර්ග ක්‍රියාත්මක වුණේ මේ අතරේ ය. මහින්දගේ පරණ උපාය වුණේ, මොකකට හරි ඇටෑක් එකක් එනකොට මහ එකා වෙනුවට පොඩි එකෙක් බිල්ලට දීමය. ඒ මගින් උන්දැට තමන්ගෙ පරම්පරාවට රජ වීමට තියෙන ඉඩ කඩ එහෙම ම පවත්වා ගන්න එකය.

බැඳුම්කර මගඩිය එළියට ආ විට ඒකට බිල්ලට දුන්නේ රවි කරුණානායක ය. මුස්ලිම් විරෝධයක් ආවිට බිල්ලට දුන්නේ බදුර්දීන් ය. (උන්නැහැට විරුද්ධව උපවාස කළ රතන උ්නනැහැ පස්සෙ මහණ වෙලාද කොහෙද, දැන් පේන්නටවත් නැත.)

ඒ විදිහටම ගෝටා ගෝ හෝම් කියාගෙන අරගලයක් ආවිට බිල්ලට ගියේ ගෝල්ෆේස් ගිහිං බේරේ ගිය බයියන්, මහින්ද සහ හිස් කරන ලද ඇමති නිවාස ය. ගෝටා යහතින් ඉතුරු වුණු අතර, රනිල් රාජපක්ෂ අගමැති වුණේ ය.

යහපාලන කාලේ රනිල් රාජපක්ෂවරු ආරක්ෂා කර, ඊළඟ ඡන්දයේ දී පහසු ජයක් ලබා දුන්නා අපට මතකය.

අරගලය තීව්‍ර වී ගෝටා පැනලා ගිය පසුව රනිල් රාජපක්ෂ ජනාපෙති වී සරුවපාක්ෂික හොරු එකතු කර ආණ්ඩුවක් හදා ගන්නට යන්නේ ය.

ඇත්තට ම කළ යුත්තේ මොකද්ද? 

පැනලා ගිය ජනාධිපති ආපහු ගෙන්වා නඩු විභාග කර වැරදිවලට සහ දුර්වල ආණ්ඩුකරණයට දඬුවම් කළ යුත්තේ ය. විගණනය ස්ථාපිත කර මහජන දේපළ සහ රටේ ආර්ථිකය සුද්ධ කළ හොරු රැළට දඬුවම් කළ යුත්තේ ය. හොරුන්ට රට පාලනය කරන්නට අවස්ථාව නොලැබෙන හැබෑ රාජ්‍ය පාලන ක්‍රමයක් ඇති කළ යුත්තේ ය.

සැබෑ මහජන නැඟිටීමක ප්‍රතිඵල විය යුත්තේ ඒක ය. 

එහෙම නැතුව එක හොරෙක් බිල්ලට දී අනික් හොර රැළට ආපහු නවත්තපු තැන ඉඳන් කන්නට අවස්ථාව සැළසීම නෙවෙි ය.

මේ වෙනකොට මර්ධනය ආරම්භ වී තිබේ. ඒ වගේ ම පොඩි පොඩි සහන(?) දෙන්නටත් පටං ගෙන තිබේ.

ඒ උනත් විසේසෙන් කියන්නට උවමනා වී තියෙන්නේ, රටේ හැබෑ අයිතිකාරයන් වන මහජනතාව කෝටි දෙකකි. ඒ ගාණ හමුදාව පොලිසිය සහ රට පාලනය කරන හොරු රැළට වඩා කීප ගුණයක් විශාල ගාණකි. දෙතුන් සීයක් මරා දැම්මත්, හොර රැළ එක මිටට අරගෙන මුහුදට විසි කරන්නට සැබෑ පරමාධිපත්‍යයට පුළුවන් ය. ඉන්දියාවේ නිදහස් සටනේ දී කතාවට කියවුනා වගේ, මේ රටේ ජනතාව පාර්ලිමේන්තුවට කෙළ ගැහුවත්, පාර්ලිමේන්තුව කෙළ සාගරයක ගිල්ලවන්නට මහජනතාවට පුළුවන් ය.

අපට මනුස්සයන් වගේ මේ රටේ ජීවත් වෙන්නට උවමනා නං වෙන විදිහක් නැත.