Sunday 3 April 2022

අද ලංකාව ගැන උතුවන්කන්ද දකින හැටි...

 


ලිවිය යුත්ත ලියවෙන්නේ බොහොම පරක්කු වෙලා ය.

මුලිම්ම, පාස්කු ප්‍රහාරය එනකොට ම අපි දැනගන්නට තිබුණේ, දේශපාලකයා කියන කැත සතාට ජනාධිපති අපේක්ෂක කම තමංගෙ අයියගෙන් උදුර ගන්ඩ සහ කැම්පේන් එක පටං ගන්නට මිනිස්සු කී සීයක් අමු අමුවේ මැරුණත් කමක් නැති බව ය.

ඊ ළඟට වඳ කොත්තු සහ යට ඇඳුං කරළියට ගෙනැවිත්, සාෆි දොස්තර දඬු කඳේ ගහන ලදි. පිදුරු මිටියට නැට්ට උඩ තියාගෙන දුවන මීහරක් වගේ ම, තක්කඩි සුදු කරපටි කාරයන් ඉන්නා තාක් රටකට හරි යන්නේ නැත.

මේ රට මේ තරං බංකොලොත් උනේ කොරෝනා නිසා නෙමේ ය. 2015 ජනපතිවරණය පැවැත්වුණේ ම, තවත් අවුරුදු දෙකක් අල්ලගෙන හිටියොත් රටයි ආර්ථිකයයි වැටෙන නිසා ය. ඊට පස්සෙ යුද්දෙ දිනපු ජනපති හොම්බෙන් යන නිසා ය.

සිරිසේන ඉස්සර කරගෙන, සෝභිත හාමුදුරුවන් පටං ගත්ත පොදු අපේක්ෂක අරගලය හිමිං සීරුවේ අතට ගත්තු කැත සත්තු ටික, (රනිල් ගේ ඩීල් නඩේ ද ඇතුළුව) අවුරුදු හතරක් පහක් ඇදගෙන ගිහිං මහින්දගේ ජනප්‍රියත්වය වැටෙන්නට නොදී ප්‍රොමෝට් කරගෙන ඉඳලා ආපහු ලංකාව අල්ලාගත්තෝ ය.

අල්ලා ගත්තාය කියලා මං කියන්නේ, මේ හැතිකරේ ආපු හැටියේ ම කරන්නට ගත්තේ ජහමනයා උංගෙන් බලාපොරොත්තු උන දේ නෙමෙයි, තම තමුංගේ නඩු බේර ගන්න එකයි, මළ මිනී සහ ලෙඩ මත්තෙන් ජාවාරම් කරන්ඩ පටං ගත්ත එකයි උන නිසා ය.

කාබනික බයිලාවක් ගෙනත් රජයේ සහනාධාරත් එක්ක රුපියල් 350 ට පොරොන්දු වෙච්ච පොහොර මිටිය රුපියල් දාහත් දාහට නැග්ගුවේ ය. ඒකත් රජයේ ආයතන හරහා නොව, පුද්ගලික ආයතන කීපයක් හරහා ගෙන්වා, ගජමිතුරන්ට මහ දවාලේ මංකොල්ල කන්නට ඉඩ සැළසුවෝය.

රුපියල් 950 ට තිබ්බ සිමෙන්ති මිටිය හංගා, අන්තිමේ 1900 කළු කඩ මිල යටතේ ලංවා කාරයාට සපයන්නට ඉඩ හැරියෝය.

සිරි ලංකාවට දරන්නට පුළුවං බලශක්ති උපක්‍රම තියෙද්දී, සූරිය බලයෙන් යුනිට් එක රුපියල් 3ට අඩුවෙන් ලබා දෙන්නට පුළුවන්කම තියෙද්දී, චීනෙන් අයින් කරන ගල් අඟුරු බලාගාර ලංකාවේ ඇටෙව්වේත් මුං මය. මුලින්ම බලාගාරේ ව්‍යාපෘතියෙන් කොමිස් ය. ඊට පස්සේ ගල් අඟුරු ගෙන්නීමෙන් කොමිස් ය.

රටේ විදේශ විනිමය ගැටලුව උග්‍ර වෙමින් තිබුණේ 2015ටත් කලින් ඉඳන් ය. අපේ ආනයන අපනයන අතර හිඟය රටට අවාසිදායකයි ය. ඒකට කියන්නේ ගෙවුම් ශේෂ හිඟය කියා ය. ඒක නිසා අපේ රටට එන ඩොලර්වලට වඩා යන ඩොලර් ගාණ වැඩියි ය. 

එහෙම තියාගෙන ජපන් ලයිට් රේල් වේ එක (කමිෂන් නැති නිසා) ආපහු යැව්වෝ ය. ඇමරිකන් කොරිඩෝ බිල්ලෙක් පෙන්නා, ඇමරිකාවෙන් ලැබුණු (ණය නෙමේ) ආධාරය එපා කිව්වෝ ය. රටට ආදරේ උදවියයි අටට ආදරේ නැති උදවියයි ගැන බයිල කියපු රාජපක්ෂලා මේ කරපු දේ රටට ආදරේ ඇති දෙයක් ද කියා ඔලුව අතගාලා බැලිය යුතුය.

රජයේ සේවය අම්මට සිරිවෙන්ඩ ප්‍රසාරණය කරගත්තු රාජපක්ෂ පාලනය, උපාධිධාරීන්ට ගෙදර ඉඳං පඩි ගන්ඩ රස්සා ලබා දුන්නේ රටේ වියදම ගැන හිතා නෙමෙයි, තමංගේ ඡන්ද පදනම ගැන හිතාගෙන ය. ගමකට හැටක් විතර ඉන්නා පිං පඩි සංවර්ධන නිලධාරීන් රටේ සංවර්ධනේට කොරන මෙලෝ අල බෝලයක් නැත. එහෙම වැඩි කරගත්තු රාජ්‍ය සේවයට අවුරුදු හැටේ හැට පහේ ඉඳං පැන්ෂන් එකකුත්, මළාට පස්සේ වැන්දදඹු අනත්දරු පැන්ෂන් එකකුත් ගෙවන්නට  සිද්ධ වෙන අතරේ, මෙහෙම යටින් ගේමකුත් ක්‍රියාත්මක වෙයි.

පැන්ෂන් ගෙවන්නේ තනිකර ඒ ඒ අවුරුදුවල රජයේ ආදායමිනි. ඒකට ඇති අරමුදලක් නැත. වැන්දඹු අනත්දරු අරමුදලට කියා හැම රජයේ සේවකයෙකුගේ ම පඩියෙන් 6%ක් විතර කැපුවත්, ඒක යන අරමුදලකුත් නැත. ඉතිං රාජ්‍ය සේවය රටේ ආර්ථිකයට බරකි.

කොවිඩ් ආ වෙලාවේ හරියට නැවු තොටු ගුවන් තොටු කළමනාකරණය කරගත්තා නං රටට කොවිඩ් පැතිරෙන්නේ නැත. ඒ උනත් මුං රැළ බැලුවේ ඒකෙනුත් හම්බ කරගන්නා විදිහ විතරයි ය. අඩු ගානට ගන්ඩ පුළුවන් ටෙස්ට් කිට් එක දෙගුණයකට විතර විකුණගන්ඩ ලබා දුන්නේ ගජමිතුරු දිලිත් ජයවීරට ය. ඊට පස්සේ ආවේ එන්නත් ටිකය. ඒකත් නියම ගාණට වඩා දෙගුණයකට විතර මිලට ගත්තේ කමිෂන් සහිතවය.

මේ කැත සත්තු රටේ අසරණ ලෙඩ්ඩුංගෙන් පවා හම්බ කරගත් නීච හැත්තකි. මේ ගැන ලියවෙන්නට එන කුණුහරුප ලියන්නේ නැත්තේ, ඒ ශාරිරික අවයවවලටත් කරන නින්දාවක් වන හින්දා ය.

දියර පොහොර, කාබනික පොහොර කියා දේවල් ගෙන්නාගෙන, රටට ඇතුල් වෙන්නටවත් නොදී ඒවටත් ගෙවුවේ, අපට හිග ඩොලර් වලින් ම තමා ය. හිටපු මහ බැංකු අධිපතිවරුන්ටත් පැන්ෂන් එකක් හදාගෙන තම තමං ගේ මඩිය තරකර ගන්නා විට රටේ ආර්ථිකය ගැන උන් හිතුවේ නැත.

ගිණි ගන්නා නැවකට රටේ බෝඩරේට ඇතුල් වෙන්නට දී, දේශීය ධීවර කර්මාන්තයට කෙල උනත් ලැබෙන කොමිෂන් එක ගැන හිතන ලදි.

බිල්ලන්  රටේ පාලනය ඩැහැ ගත්තු වැඩ කරන විරුවා සහ අප්පච්චි ගේ කෙරුවාවෙන් බිඳක් එහෙම ය.

ඒත් දැන් දැන් ජහමනයාට තේරී ඇති බව පෙනේ. "අපි හම්බුකොළොත් අපි කන්නට" තවදුරටත් මෙහෙවු රටක නං බැරිය. අපි හම්බු කොළොත් අර කැත සත්තු කාලා ඉතුරු වෙන යමක් අපට කන්ඩ පුළුවන් ය. 

ඇයි යකෝ, රුපියල් කෝටියක් අතේ තිබුණත් වැඩක් තියේද, ගෑස් එකක් ගන්නට නැත්තං: පෙට්‍රල් ඩීසල් බූමිතෙල් ටිකක් ගන්නට නැත්තං: පොඩි එකාට කිරි පිටි එකක් ගන්නට නැත්තං: තිස්සෙම කරුවලේ ඉන්නට සිද්ධ වෙලා තියෙනවනං?

නිහඬව හිටපු ජනතාව පාරට බසින ප්‍රවණතාවක් ඇත.

ඒකට පළමුවන පහර ගැහුවේ බස් එක ගිණි තියාපු සේනාධිපතිගේ රංගන ශිල්පීන් ය. ඒත් අපි ආඩම්බර විය යුතු නීතීඥ ප්‍රජාව නිසා ඒ රැල්ල එහෙම්ම අකුලා ගන්නට සිද්ධ වුණේ ය.

දැන් කැබිනට් මාරුවක් ගැන කතා එළියට එන්නේ ය. 

ඒත් උන් දැනගත යුතු දේ වනාහී, ‌මේ යන්නේ ඒ විදිහේ සිල්ලර අරගලයක් නොව, සමස්ත දේශපාලන ප්‍රවාහයම අතුගා දැමීමේ අධිෂ්ඨානයක් වන බව ය. මහින්ද අයිං වී සරුවපාක්ෂික රජයක් ආවත්, එතනත් ඉන්නේ කැත සත්තු ටිකම තමා ය. ඩීල් කාරයන් සහ ජාවාරම් කාරයන් අතට රටේ කළමනාකරණය ආයෙම වතාවක් දෙන්නට රටේ පරමාධිපත්‍යයේ නියම හිමිකාරයන් වන ජනතාව ලෑස්ති විය යුතු නැත.

පරාද කළ යුත්තේ ඔය කැත සත්තු හැම එකාවම ය. මගඩි නාටක පෙන්නන විමල්ලා, ගොම්මංපිලලා, මෝඩ ජෝක් මිස දැක්මක් නැති සජිත්ලා, ජාවාරම් කාර මහින්දානන්දලා, ජොනීලා, එක්කම එක මිටට රජපක්ෂලා පරාජය කළ යුතුව තිබේ.

රටේ දෙකෝටියක් ජනතාව ඉඳිති. හමුදාව සහ පොලිසිය ඉන්නේ ලක්ෂ පහකි. ඒ නිසා, ජනතාවට එරෙහිව උසි ගැන්නෙන හාම්පුතුන්ගේ දඩ බල්ලන්ටත් අන්තිම වශයෙන් කියන්නට ඇත්තේ, 

"මේ අරගලය යකෝ, මේ රටෙන් පිටවෙන්නට බැරි දුප්පතුන් වෙනුවෙනි. තොපේත් අපේත් දරුවන්ට මිනිස්සු වගේ කොන්ද කෙලින් තියාගෙන අවම අවශ්‍යතාවන්වත් සපුරාගෙන ජීවත් වෙන්නට සුදුසු පරිසරයක් නිර්මාණය කිරීම වෙනුවෙනි. ඒ හින්දා තොපේ කඳුලු ගෑස්, වෝට කැනන්, රබර් උණ්ඩ, ජීව උණ්ඩ එල්ල කරන්නේ, තොපිට නිල ඇඳුම ඇඳං, රස්සාව පරිස්සං කරගෙන කරන්ඩ බැරි අරගලයක් ‌කරන්ඩ පාරට බහින තොපේ ම පන්තියේ ජනතාවට නේද කියා හිතාපියව්!"

අන්තිම වරට කියන්නට ඇත්තේ, ෆර්ඩිනන්ඩ් මාකෝස්ට වගේ, තමං හොරාගත්තු ධනයත් අරගෙන, විදේශවල දේශපාලන රැකවරණ ලබාගන්නට රාජපක්ෂලාට ඉඩ තියන්ඩ එපා කියන එකයි.

ජනතාවට අන්තිමේදි ජය අත් වෙනවා
මොන විදිහෙන් හරි දුෂ්ඨයො තොලොංජි වෙනවා


11 comments:

  1. ඕක තමා වෙන්න ඕනේ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අජි්ත් තුමා...

      Delete
  2. කියල තියෙන දේ ඇත්ත. මේ ආර්ථක ඝාතකයො යන්න ඕනෙ. ඒත් විපක්ෂ මේ වෙලාවෙ කරන්නෙත් බොරදියේ මාළු බාන එකම නේද? විපක්ෂය වලට පැහැදිලි විසඳුමක් තියනවද කියන එක ප්‍රශ්ණයක් නේද?

    මට හිතෙන්නේ, මේක දේශපාලනයට එහාගිය සමාජීය/සංස්කෘතික ප්‍රශ්ණයක් බවයි. අපි, හවුස්මේඩ්ල/ගාමන්ට් "කෑලි" ගේන ඩොලර් ටිකෙන් පාටිදාන, "ගේමක් ගහලා" ගොඩයන්න ඕනෙ කියන කලෙක්ටිවි මෙන්ටැලිටි එකක් තියෙන ජාතියක් නෙමෙයිද?

    ReplyDelete
    Replies
    1. එකපාරටම හැම දේම අනිත්පැත්ත හැරෙන්නෙ නැතිවෙයි. නමුත් අවුරුදු ගාණක් ගතවෙලා හරි අපේ සමාජය දියුණූ වෙනවානම්...

      Delete
    2. ඔව් මේ ඇති වෙලා තියෙන පක්ෂ භේදයෙන් තොර විරෝධය, පෙර නොවූ දෙයක්. අපිත් එහෙම ප්‍රාර්ථනා කරමු. බොරුව, වංචාව, දූෂණය ප්‍රතික්ෂේප කිරීම වගේම, අධිතක්සේරුවෙන් තොරව ඇත්ත ඇති සැටියට දැකීමත් හොඳ ආරම්භයක් වේවි.

      Delete
  3. යුක්තිය ජය ගනී,
    කළ දේ පල දේ,
    වගේ දේවල් අපිත් පොඩි කාලේ දී නම් හිතුවේ ඇත්ත ය කියලයි.

    අවංකවම දැන් නං ඒවා ගැන කිසි විශ්වාසයක් නැත.

    ReplyDelete
    Replies
    1. ජෝන් ලෙනන් කියනව,

      “ඔබ කියාවි මම සිහින දකින්නෙක් කියා.
      ඒත් සිහින දකින එකම කෙනා මම නොවේ
      ඒ වගේම ඔබත් මා එක්ක එකතු වේ යැයි මම බලාපොරොත්තු වෙනවා“

      Delete
  4. වැටිලා පස්ස තැලුණම මොළයට හොඳය
    කියමන ඇත්ත වාගේ දැන් පෙනෙනවය
    අපට මොළය පෑදෙන්නේ හෙමිහිටය
    රට කළ හැත්ත රටටම දැන් අරහංය

    මේ තත්ත්වයට රටේ මිනිසුන් පත් කිරීම වෙනුවෙන් පාලක හැත්ත-බුරුත්තටම ගොඩක් ස්තුතියි!

    ReplyDelete
    Replies
    1. ස්ස්ස්සූදියි... කියවන්න ආවට.

      Delete
  5. කියෙව්වා. ඇත්ත! කුමක් වේදැයි බලාගෙන ඉඳිමි...

    ReplyDelete
  6. අම්මට සිරි! අදයි ආවේ බ්ලොග් එක පැත්ත පලාතේ! ඔය දීල තියෙන්නේ ඉන්තීරුවෙන්ම වෙලා තීන දෙයයි වෙන්න තියෙන දෙයයි වෙන්න ඕන දෙයයි සියල්ලම අකුරක් නෑර! අද ඉඳ ගත්තේම පෝස්ටුවක් ලියන්නමයි. බලමු මේ කත් ඊට හොන්ද ප්‍රවේශයක්. ඒක නෙවෙයි කෝ මම්මලේ; සර්දියෙල්? ඌ ජන අරගලේද? මොනවා උනත්; උඹලටත් අපිටත් ජය වේවා!

    ReplyDelete