Saturday 13 August 2022

අරගලය සහ විය යුත්ත

දේශයක් අයිති මහජනතාවටය.

දේශය පාලනය කළ යුත්තේ මහජනතාවට උපරිම ප්‍රතිලාභ සමානාත්මතාවයෙන් භුක්ති විඳින්නට හැකි වන අයුරිනි.

මේ දේවල් ආයෙ ආයෙත් මතක් කර දීමට සිදුවෙලා තියෙනවා ය. 

වැඩවසම් කාලයේ ඉඩම් හිමි වංශවතුන්, තමන්ගේ ඉඩම්වල පදිංචිවී හිටි ප්‍රවේණි දාසයන්ගේ අයිති කාරයා ය. ප්‍රවේණි දාසයන්ට ජීවත් වෙන්නට යන්තම් සොච්චමක් දීලා උන්ගේ ශ්‍රමය නොමිලේ ම ඉඩම්වලට යොදවා ගන්නට පුළුවන් ය. 

දැන් කියලාත් වැඩි වෙනසක් නැත. පෙට්‍රල් ඩීසල් පෝලිම අඩු උනහම ඇති ය. ගෑස් රුපියල් දෙසීයකින් විතර අඩු උනහම ඇති ය.

අරගලය පටන් ගන්න කොට ම ඒකට සහභාගී උනු පාවෙන ඡන්ද කාරයන්ගේ අරමුණු අතරේ තිබුණේ මේ ජරා ජීර්ණ සිස්ටම්  එක වෙනුවට මහජනතාව වෙනුවෙන් රට පාලනය කරන සිස්ටම් එකක් හදා ගැනීමය. මාත් එක්ක කතා කළ සෑහෙන දෙනෙක් කතා කළේ අලුත් ව්‍යවස්ථාවක් මේ ගමන්ම හදා ගත යුතු බව ය. කොටිම්ම කියතොත් හොරෙක් රට පාලනයට පත් උනා උනත්, ඌටත් හොරකං කරන්ඩ බැරි ව්‍යවස්ථාවක් හදා ගන්න එකය.

වැඩේ තියෙන්නේ මේකත් අපේ බහුතර මහජනතාවට කවුරුන් හරි කරලා දෙන්නට ඕනේ වීමය. විප්ලවයක් කළ යුතු වුණත් ඒ මගේ පුතා නොවේ, වෙන අයගේ පුත්තු විය යුතු ය.

අරගල කාරයන් අත් අඩංගුවට ගත්තාම රොත්ත පිටින් උසාවියේ පෙනී හිටපු නීතිඥ ප්‍රජාව මේ වැඩේට අත ගහනු ඇතැයි සමහරු හිතුවෝ ය. 

පරණ උපාය මාර්ග ක්‍රියාත්මක වුණේ මේ අතරේ ය. මහින්දගේ පරණ උපාය වුණේ, මොකකට හරි ඇටෑක් එකක් එනකොට මහ එකා වෙනුවට පොඩි එකෙක් බිල්ලට දීමය. ඒ මගින් උන්දැට තමන්ගෙ පරම්පරාවට රජ වීමට තියෙන ඉඩ කඩ එහෙම ම පවත්වා ගන්න එකය.

බැඳුම්කර මගඩිය එළියට ආ විට ඒකට බිල්ලට දුන්නේ රවි කරුණානායක ය. මුස්ලිම් විරෝධයක් ආවිට බිල්ලට දුන්නේ බදුර්දීන් ය. (උන්නැහැට විරුද්ධව උපවාස කළ රතන උ්නනැහැ පස්සෙ මහණ වෙලාද කොහෙද, දැන් පේන්නටවත් නැත.)

ඒ විදිහටම ගෝටා ගෝ හෝම් කියාගෙන අරගලයක් ආවිට බිල්ලට ගියේ ගෝල්ෆේස් ගිහිං බේරේ ගිය බයියන්, මහින්ද සහ හිස් කරන ලද ඇමති නිවාස ය. ගෝටා යහතින් ඉතුරු වුණු අතර, රනිල් රාජපක්ෂ අගමැති වුණේ ය.

යහපාලන කාලේ රනිල් රාජපක්ෂවරු ආරක්ෂා කර, ඊළඟ ඡන්දයේ දී පහසු ජයක් ලබා දුන්නා අපට මතකය.

අරගලය තීව්‍ර වී ගෝටා පැනලා ගිය පසුව රනිල් රාජපක්ෂ ජනාපෙති වී සරුවපාක්ෂික හොරු එකතු කර ආණ්ඩුවක් හදා ගන්නට යන්නේ ය.

ඇත්තට ම කළ යුත්තේ මොකද්ද? 

පැනලා ගිය ජනාධිපති ආපහු ගෙන්වා නඩු විභාග කර වැරදිවලට සහ දුර්වල ආණ්ඩුකරණයට දඬුවම් කළ යුත්තේ ය. විගණනය ස්ථාපිත කර මහජන දේපළ සහ රටේ ආර්ථිකය සුද්ධ කළ හොරු රැළට දඬුවම් කළ යුත්තේ ය. හොරුන්ට රට පාලනය කරන්නට අවස්ථාව නොලැබෙන හැබෑ රාජ්‍ය පාලන ක්‍රමයක් ඇති කළ යුත්තේ ය.

සැබෑ මහජන නැඟිටීමක ප්‍රතිඵල විය යුත්තේ ඒක ය. 

එහෙම නැතුව එක හොරෙක් බිල්ලට දී අනික් හොර රැළට ආපහු නවත්තපු තැන ඉඳන් කන්නට අවස්ථාව සැළසීම නෙවෙි ය.

මේ වෙනකොට මර්ධනය ආරම්භ වී තිබේ. ඒ වගේ ම පොඩි පොඩි සහන(?) දෙන්නටත් පටං ගෙන තිබේ.

ඒ උනත් විසේසෙන් කියන්නට උවමනා වී තියෙන්නේ, රටේ හැබෑ අයිතිකාරයන් වන මහජනතාව කෝටි දෙකකි. ඒ ගාණ හමුදාව පොලිසිය සහ රට පාලනය කරන හොරු රැළට වඩා කීප ගුණයක් විශාල ගාණකි. දෙතුන් සීයක් මරා දැම්මත්, හොර රැළ එක මිටට අරගෙන මුහුදට විසි කරන්නට සැබෑ පරමාධිපත්‍යයට පුළුවන් ය. ඉන්දියාවේ නිදහස් සටනේ දී කතාවට කියවුනා වගේ, මේ රටේ ජනතාව පාර්ලිමේන්තුවට කෙළ ගැහුවත්, පාර්ලිමේන්තුව කෙළ සාගරයක ගිල්ලවන්නට මහජනතාවට පුළුවන් ය.

අපට මනුස්සයන් වගේ මේ රටේ ජීවත් වෙන්නට උවමනා නං වෙන විදිහක් නැත.



Thursday 9 June 2022

 


ගෝල්ෆේස් අරගලය නිකංම නිකං පිං බුරියානි කෑමක් ලෙස ලඝු කල පිම්පියන්හට තවත් චන්ද ප්‍රථිඵලයකට සවන් දෙන්නට අද දින ලැබුනේය. ඒ කපුටාගේ ඉල්ලා අස්වීමය.

වසර ගනනාවක් එනම් පස් හය වතාවක් ඡන්දයෙන් පැරදීඅවසානයේ තමංගේ සීට් එක තබා බයිසිකල් සීට් එකක් වත් රැක ගැනීමට බැරිවූ රනිල් මෙවර සෙක්කුවේ බැන්දත් ඔහුට යන්නට තියෙන්නේද එකම ගමන් මගක් විනා වෙනත් මගක නොවේ!

ගං වල එකළ දිගේලි කරණ පිං ගොන්නුන් සිටියෝය. ඒ ගං වල සිටි නොසන්ඩාලයින් තමංගේ වැඩක් කර ගැනීමට ගව සම්පතක් නැතිවූ විට කලේ පිං ගොනාව අල්ලා ගැනීමයි. පිං ගොනාව කිසිවෙකු ආරස්සා කල යුතු නොවන සේම රස්සා කලයුතු නොවන්නේය. ඒ සඳහා ගෙවිය යුතු මිලක් නොමැත! රනිල් දේශපාලනික පිං ගොනෙකුගේ තත්වයට ගෙන ඇත්තේ මැදමුලන පට්ටියේ  මදාවියන්ය!

මෙතෙක් සජබෙ ගාලේ ලැගගෙන සිටි එවුංද, බෙල්ල කැපුවත් ගූඇන්පී  කියාගෙන හිටි රනිල්ගේ අනාතයින්ද; පොහොට්ටුවන්හට එක්වී රනිල්ට හුරේ දමන්නට පටන් ගත්තේ රනිලා රට ගොඩ දමාවි යැයි කියාය! රනිල් කරන්නේ ආපු දවසේ සිට ආණ්ඩුවේ දුක වෙළෙඳාම් කිරීම විනා වෙන අටමගලක් හෝ ලබ්බක් නොවේ! 

ලබ්බ කීවාම මතක් වූ යේ කපුටාවය. ඔහුට  බෝලයක් නොමැති බව මාධ්‍යය අමතා අද දින ප්‍රාකාශ කොට නික්ම ගියේය. බලාන ගියාම මේ රට පාලනය කර ඇත්තේ; විශේෂයෙන්ම රටේ ආර්ථිකය පාලනය කොට ඇත්තේ පුස්සන්මය! 

අර මීට කාලෙකට පෙර මිය පරලොව ගිය "පොඩි ළමයා" කිව්වා මෙන් "නිස්සො සුදුස්සෝ යටකොට - පුස්සො වැඩ දෙනවා යමරෙට - සෙතක් වෙයිද එහෙම රටකට ඕයි!?" අහන්නට අපට සිතේ. මෙහි ඇති ආතල්ම සීන් එක වන්නේ පුස්සන්ගේ නපුංසක වැඩ සියල්ල සිදුවන්නේ රටේ යහපතට ගන්නා තීන්දු තීරණ වලදී මිසක් උංගේ හම්බ කෙරුවාවල් වලට නොවීමය.

වැඩේ මෙහෙම සිදුවේගෙන යද්දී එළි බහින්නේ පට්ට පොරකි. ඒ  බදු ධම්මික හෙවත් කුණු ධම්මිකය! අපේ රටේ තියෙන වාසනාවේ තරම කියන්නේ ඇවන්ගාර්ඩ් බැසිලා මහින්ද මැකීගෙන යද්දී අපට සෙට් වෙන්නේ ඊට වඩා එළකිරි ඩයල් එකක්ය!

ධම්මික රජයට ගෙවන්න ඇති බදු මුදල් පිළිබඳව විවිධ ආරංචි මේ වන විට මාධ්‍යයේ සැරි සරයි! බලාන ගියාම ධම්මිකට වඩා යහපත් කෙනෙක් මුං එක්ක පෑහෙයි කියලාත් හිතන්නට බැරිය! රට මේතරං අභාග්‍ය සම්පන්න තැනකට වැටී ඇත්තේ නිවැරදි තෝරා ගැනීම නොකල නිසාමය! අද පාර්ලිමේන්තුවෙන් ඉවතට පියාඹා ගිය කපුටා පැවසූවේ රටේ ඇති අවුලට උංට ඡන්දය දුන් 69 ලක්සෙද වගකිව යුතුයඉ කියාය. ලැබුණු  සම්මානය පිළබඳව හෙට හංදියක් හංදියක් ගානේ කිරිබත් කනු නොඅනුමානය!  උක්කුටික පෝච්චි වන් කටවල් තිබුනාට ඒවා භාවිතා කරණ්නේ කක්කුස්සි හැටියට නොව කෑමට හා කථා කිරීමට බව මුංට නොතේරෙණ අපූරුව.

අප කිසිදා 69 කල්සෙට බනින්නට යන්නේ නැත! බොහෝ එවුං නොව අතිමහත් බහුතරය මුන්ට බක්ක බදලා දුන්නේ රටට යහපතක් කරාවිය යැයි සිතාය. එසේ නැතිව තමංට ලැබෙන අහවල් කේං ගෙඩියකට නොවන්නේය. එවන් සත් භාවයෙන් ලබා දුන් ඡන්දයෙන් නඩු ටිකත් බේරාගෙන ආත්ම හතකට හරි හම්බකරගෙන යන එකා; තමන්ට චන්දය දුන්නු අප්පුහාමිලාට දුන්නේ හරි අපූරු සම්මානයකි!

කෙසේ වෙතත් හිතට ඇති එකම සතුට දර ලිපේ උයන මගේ තංගම්මා පිළිබඳව! හරක් වීරසේකර කියනා පරිදි දර ලිපේ උයන වාහෙලා රූමත් වෙනවාලු! අම්මලා දරුවන්ව වැදිය යුතුය! එසේ නැතිව දරුවන්ව මළපහ කල විට බිහිවන්නේ මෙවන් හරක් ය! තොපිට ලැබෙන දවස වැඩි ඈතක නොවන්නේය. 

Sunday 3 April 2022

අද ලංකාව ගැන උතුවන්කන්ද දකින හැටි...

 


ලිවිය යුත්ත ලියවෙන්නේ බොහොම පරක්කු වෙලා ය.

මුලිම්ම, පාස්කු ප්‍රහාරය එනකොට ම අපි දැනගන්නට තිබුණේ, දේශපාලකයා කියන කැත සතාට ජනාධිපති අපේක්ෂක කම තමංගෙ අයියගෙන් උදුර ගන්ඩ සහ කැම්පේන් එක පටං ගන්නට මිනිස්සු කී සීයක් අමු අමුවේ මැරුණත් කමක් නැති බව ය.

ඊ ළඟට වඳ කොත්තු සහ යට ඇඳුං කරළියට ගෙනැවිත්, සාෆි දොස්තර දඬු කඳේ ගහන ලදි. පිදුරු මිටියට නැට්ට උඩ තියාගෙන දුවන මීහරක් වගේ ම, තක්කඩි සුදු කරපටි කාරයන් ඉන්නා තාක් රටකට හරි යන්නේ නැත.

මේ රට මේ තරං බංකොලොත් උනේ කොරෝනා නිසා නෙමේ ය. 2015 ජනපතිවරණය පැවැත්වුණේ ම, තවත් අවුරුදු දෙකක් අල්ලගෙන හිටියොත් රටයි ආර්ථිකයයි වැටෙන නිසා ය. ඊට පස්සෙ යුද්දෙ දිනපු ජනපති හොම්බෙන් යන නිසා ය.

සිරිසේන ඉස්සර කරගෙන, සෝභිත හාමුදුරුවන් පටං ගත්ත පොදු අපේක්ෂක අරගලය හිමිං සීරුවේ අතට ගත්තු කැත සත්තු ටික, (රනිල් ගේ ඩීල් නඩේ ද ඇතුළුව) අවුරුදු හතරක් පහක් ඇදගෙන ගිහිං මහින්දගේ ජනප්‍රියත්වය වැටෙන්නට නොදී ප්‍රොමෝට් කරගෙන ඉඳලා ආපහු ලංකාව අල්ලාගත්තෝ ය.

අල්ලා ගත්තාය කියලා මං කියන්නේ, මේ හැතිකරේ ආපු හැටියේ ම කරන්නට ගත්තේ ජහමනයා උංගෙන් බලාපොරොත්තු උන දේ නෙමෙයි, තම තමුංගේ නඩු බේර ගන්න එකයි, මළ මිනී සහ ලෙඩ මත්තෙන් ජාවාරම් කරන්ඩ පටං ගත්ත එකයි උන නිසා ය.

කාබනික බයිලාවක් ගෙනත් රජයේ සහනාධාරත් එක්ක රුපියල් 350 ට පොරොන්දු වෙච්ච පොහොර මිටිය රුපියල් දාහත් දාහට නැග්ගුවේ ය. ඒකත් රජයේ ආයතන හරහා නොව, පුද්ගලික ආයතන කීපයක් හරහා ගෙන්වා, ගජමිතුරන්ට මහ දවාලේ මංකොල්ල කන්නට ඉඩ සැළසුවෝය.

රුපියල් 950 ට තිබ්බ සිමෙන්ති මිටිය හංගා, අන්තිමේ 1900 කළු කඩ මිල යටතේ ලංවා කාරයාට සපයන්නට ඉඩ හැරියෝය.

සිරි ලංකාවට දරන්නට පුළුවං බලශක්ති උපක්‍රම තියෙද්දී, සූරිය බලයෙන් යුනිට් එක රුපියල් 3ට අඩුවෙන් ලබා දෙන්නට පුළුවන්කම තියෙද්දී, චීනෙන් අයින් කරන ගල් අඟුරු බලාගාර ලංකාවේ ඇටෙව්වේත් මුං මය. මුලින්ම බලාගාරේ ව්‍යාපෘතියෙන් කොමිස් ය. ඊට පස්සේ ගල් අඟුරු ගෙන්නීමෙන් කොමිස් ය.

රටේ විදේශ විනිමය ගැටලුව උග්‍ර වෙමින් තිබුණේ 2015ටත් කලින් ඉඳන් ය. අපේ ආනයන අපනයන අතර හිඟය රටට අවාසිදායකයි ය. ඒකට කියන්නේ ගෙවුම් ශේෂ හිඟය කියා ය. ඒක නිසා අපේ රටට එන ඩොලර්වලට වඩා යන ඩොලර් ගාණ වැඩියි ය. 

එහෙම තියාගෙන ජපන් ලයිට් රේල් වේ එක (කමිෂන් නැති නිසා) ආපහු යැව්වෝ ය. ඇමරිකන් කොරිඩෝ බිල්ලෙක් පෙන්නා, ඇමරිකාවෙන් ලැබුණු (ණය නෙමේ) ආධාරය එපා කිව්වෝ ය. රටට ආදරේ උදවියයි අටට ආදරේ නැති උදවියයි ගැන බයිල කියපු රාජපක්ෂලා මේ කරපු දේ රටට ආදරේ ඇති දෙයක් ද කියා ඔලුව අතගාලා බැලිය යුතුය.

රජයේ සේවය අම්මට සිරිවෙන්ඩ ප්‍රසාරණය කරගත්තු රාජපක්ෂ පාලනය, උපාධිධාරීන්ට ගෙදර ඉඳං පඩි ගන්ඩ රස්සා ලබා දුන්නේ රටේ වියදම ගැන හිතා නෙමෙයි, තමංගේ ඡන්ද පදනම ගැන හිතාගෙන ය. ගමකට හැටක් විතර ඉන්නා පිං පඩි සංවර්ධන නිලධාරීන් රටේ සංවර්ධනේට කොරන මෙලෝ අල බෝලයක් නැත. එහෙම වැඩි කරගත්තු රාජ්‍ය සේවයට අවුරුදු හැටේ හැට පහේ ඉඳං පැන්ෂන් එකකුත්, මළාට පස්සේ වැන්දදඹු අනත්දරු පැන්ෂන් එකකුත් ගෙවන්නට  සිද්ධ වෙන අතරේ, මෙහෙම යටින් ගේමකුත් ක්‍රියාත්මක වෙයි.

පැන්ෂන් ගෙවන්නේ තනිකර ඒ ඒ අවුරුදුවල රජයේ ආදායමිනි. ඒකට ඇති අරමුදලක් නැත. වැන්දඹු අනත්දරු අරමුදලට කියා හැම රජයේ සේවකයෙකුගේ ම පඩියෙන් 6%ක් විතර කැපුවත්, ඒක යන අරමුදලකුත් නැත. ඉතිං රාජ්‍ය සේවය රටේ ආර්ථිකයට බරකි.

කොවිඩ් ආ වෙලාවේ හරියට නැවු තොටු ගුවන් තොටු කළමනාකරණය කරගත්තා නං රටට කොවිඩ් පැතිරෙන්නේ නැත. ඒ උනත් මුං රැළ බැලුවේ ඒකෙනුත් හම්බ කරගන්නා විදිහ විතරයි ය. අඩු ගානට ගන්ඩ පුළුවන් ටෙස්ට් කිට් එක දෙගුණයකට විතර විකුණගන්ඩ ලබා දුන්නේ ගජමිතුරු දිලිත් ජයවීරට ය. ඊට පස්සේ ආවේ එන්නත් ටිකය. ඒකත් නියම ගාණට වඩා දෙගුණයකට විතර මිලට ගත්තේ කමිෂන් සහිතවය.

මේ කැත සත්තු රටේ අසරණ ලෙඩ්ඩුංගෙන් පවා හම්බ කරගත් නීච හැත්තකි. මේ ගැන ලියවෙන්නට එන කුණුහරුප ලියන්නේ නැත්තේ, ඒ ශාරිරික අවයවවලටත් කරන නින්දාවක් වන හින්දා ය.

දියර පොහොර, කාබනික පොහොර කියා දේවල් ගෙන්නාගෙන, රටට ඇතුල් වෙන්නටවත් නොදී ඒවටත් ගෙවුවේ, අපට හිග ඩොලර් වලින් ම තමා ය. හිටපු මහ බැංකු අධිපතිවරුන්ටත් පැන්ෂන් එකක් හදාගෙන තම තමං ගේ මඩිය තරකර ගන්නා විට රටේ ආර්ථිකය ගැන උන් හිතුවේ නැත.

ගිණි ගන්නා නැවකට රටේ බෝඩරේට ඇතුල් වෙන්නට දී, දේශීය ධීවර කර්මාන්තයට කෙල උනත් ලැබෙන කොමිෂන් එක ගැන හිතන ලදි.

බිල්ලන්  රටේ පාලනය ඩැහැ ගත්තු වැඩ කරන විරුවා සහ අප්පච්චි ගේ කෙරුවාවෙන් බිඳක් එහෙම ය.

ඒත් දැන් දැන් ජහමනයාට තේරී ඇති බව පෙනේ. "අපි හම්බුකොළොත් අපි කන්නට" තවදුරටත් මෙහෙවු රටක නං බැරිය. අපි හම්බු කොළොත් අර කැත සත්තු කාලා ඉතුරු වෙන යමක් අපට කන්ඩ පුළුවන් ය. 

ඇයි යකෝ, රුපියල් කෝටියක් අතේ තිබුණත් වැඩක් තියේද, ගෑස් එකක් ගන්නට නැත්තං: පෙට්‍රල් ඩීසල් බූමිතෙල් ටිකක් ගන්නට නැත්තං: පොඩි එකාට කිරි පිටි එකක් ගන්නට නැත්තං: තිස්සෙම කරුවලේ ඉන්නට සිද්ධ වෙලා තියෙනවනං?

නිහඬව හිටපු ජනතාව පාරට බසින ප්‍රවණතාවක් ඇත.

ඒකට පළමුවන පහර ගැහුවේ බස් එක ගිණි තියාපු සේනාධිපතිගේ රංගන ශිල්පීන් ය. ඒත් අපි ආඩම්බර විය යුතු නීතීඥ ප්‍රජාව නිසා ඒ රැල්ල එහෙම්ම අකුලා ගන්නට සිද්ධ වුණේ ය.

දැන් කැබිනට් මාරුවක් ගැන කතා එළියට එන්නේ ය. 

ඒත් උන් දැනගත යුතු දේ වනාහී, ‌මේ යන්නේ ඒ විදිහේ සිල්ලර අරගලයක් නොව, සමස්ත දේශපාලන ප්‍රවාහයම අතුගා දැමීමේ අධිෂ්ඨානයක් වන බව ය. මහින්ද අයිං වී සරුවපාක්ෂික රජයක් ආවත්, එතනත් ඉන්නේ කැත සත්තු ටිකම තමා ය. ඩීල් කාරයන් සහ ජාවාරම් කාරයන් අතට රටේ කළමනාකරණය ආයෙම වතාවක් දෙන්නට රටේ පරමාධිපත්‍යයේ නියම හිමිකාරයන් වන ජනතාව ලෑස්ති විය යුතු නැත.

පරාද කළ යුත්තේ ඔය කැත සත්තු හැම එකාවම ය. මගඩි නාටක පෙන්නන විමල්ලා, ගොම්මංපිලලා, මෝඩ ජෝක් මිස දැක්මක් නැති සජිත්ලා, ජාවාරම් කාර මහින්දානන්දලා, ජොනීලා, එක්කම එක මිටට රජපක්ෂලා පරාජය කළ යුතුව තිබේ.

රටේ දෙකෝටියක් ජනතාව ඉඳිති. හමුදාව සහ පොලිසිය ඉන්නේ ලක්ෂ පහකි. ඒ නිසා, ජනතාවට එරෙහිව උසි ගැන්නෙන හාම්පුතුන්ගේ දඩ බල්ලන්ටත් අන්තිම වශයෙන් කියන්නට ඇත්තේ, 

"මේ අරගලය යකෝ, මේ රටෙන් පිටවෙන්නට බැරි දුප්පතුන් වෙනුවෙනි. තොපේත් අපේත් දරුවන්ට මිනිස්සු වගේ කොන්ද කෙලින් තියාගෙන අවම අවශ්‍යතාවන්වත් සපුරාගෙන ජීවත් වෙන්නට සුදුසු පරිසරයක් නිර්මාණය කිරීම වෙනුවෙනි. ඒ හින්දා තොපේ කඳුලු ගෑස්, වෝට කැනන්, රබර් උණ්ඩ, ජීව උණ්ඩ එල්ල කරන්නේ, තොපිට නිල ඇඳුම ඇඳං, රස්සාව පරිස්සං කරගෙන කරන්ඩ බැරි අරගලයක් ‌කරන්ඩ පාරට බහින තොපේ ම පන්තියේ ජනතාවට නේද කියා හිතාපියව්!"

අන්තිම වරට කියන්නට ඇත්තේ, ෆර්ඩිනන්ඩ් මාකෝස්ට වගේ, තමං හොරාගත්තු ධනයත් අරගෙන, විදේශවල දේශපාලන රැකවරණ ලබාගන්නට රාජපක්ෂලාට ඉඩ තියන්ඩ එපා කියන එකයි.

ජනතාවට අන්තිමේදි ජය අත් වෙනවා
මොන විදිහෙන් හරි දුෂ්ඨයො තොලොංජි වෙනවා