Saturday 13 August 2022

අරගලය සහ විය යුත්ත

දේශයක් අයිති මහජනතාවටය.

දේශය පාලනය කළ යුත්තේ මහජනතාවට උපරිම ප්‍රතිලාභ සමානාත්මතාවයෙන් භුක්ති විඳින්නට හැකි වන අයුරිනි.

මේ දේවල් ආයෙ ආයෙත් මතක් කර දීමට සිදුවෙලා තියෙනවා ය. 

වැඩවසම් කාලයේ ඉඩම් හිමි වංශවතුන්, තමන්ගේ ඉඩම්වල පදිංචිවී හිටි ප්‍රවේණි දාසයන්ගේ අයිති කාරයා ය. ප්‍රවේණි දාසයන්ට ජීවත් වෙන්නට යන්තම් සොච්චමක් දීලා උන්ගේ ශ්‍රමය නොමිලේ ම ඉඩම්වලට යොදවා ගන්නට පුළුවන් ය. 

දැන් කියලාත් වැඩි වෙනසක් නැත. පෙට්‍රල් ඩීසල් පෝලිම අඩු උනහම ඇති ය. ගෑස් රුපියල් දෙසීයකින් විතර අඩු උනහම ඇති ය.

අරගලය පටන් ගන්න කොට ම ඒකට සහභාගී උනු පාවෙන ඡන්ද කාරයන්ගේ අරමුණු අතරේ තිබුණේ මේ ජරා ජීර්ණ සිස්ටම්  එක වෙනුවට මහජනතාව වෙනුවෙන් රට පාලනය කරන සිස්ටම් එකක් හදා ගැනීමය. මාත් එක්ක කතා කළ සෑහෙන දෙනෙක් කතා කළේ අලුත් ව්‍යවස්ථාවක් මේ ගමන්ම හදා ගත යුතු බව ය. කොටිම්ම කියතොත් හොරෙක් රට පාලනයට පත් උනා උනත්, ඌටත් හොරකං කරන්ඩ බැරි ව්‍යවස්ථාවක් හදා ගන්න එකය.

වැඩේ තියෙන්නේ මේකත් අපේ බහුතර මහජනතාවට කවුරුන් හරි කරලා දෙන්නට ඕනේ වීමය. විප්ලවයක් කළ යුතු වුණත් ඒ මගේ පුතා නොවේ, වෙන අයගේ පුත්තු විය යුතු ය.

අරගල කාරයන් අත් අඩංගුවට ගත්තාම රොත්ත පිටින් උසාවියේ පෙනී හිටපු නීතිඥ ප්‍රජාව මේ වැඩේට අත ගහනු ඇතැයි සමහරු හිතුවෝ ය. 

පරණ උපාය මාර්ග ක්‍රියාත්මක වුණේ මේ අතරේ ය. මහින්දගේ පරණ උපාය වුණේ, මොකකට හරි ඇටෑක් එකක් එනකොට මහ එකා වෙනුවට පොඩි එකෙක් බිල්ලට දීමය. ඒ මගින් උන්දැට තමන්ගෙ පරම්පරාවට රජ වීමට තියෙන ඉඩ කඩ එහෙම ම පවත්වා ගන්න එකය.

බැඳුම්කර මගඩිය එළියට ආ විට ඒකට බිල්ලට දුන්නේ රවි කරුණානායක ය. මුස්ලිම් විරෝධයක් ආවිට බිල්ලට දුන්නේ බදුර්දීන් ය. (උන්නැහැට විරුද්ධව උපවාස කළ රතන උ්නනැහැ පස්සෙ මහණ වෙලාද කොහෙද, දැන් පේන්නටවත් නැත.)

ඒ විදිහටම ගෝටා ගෝ හෝම් කියාගෙන අරගලයක් ආවිට බිල්ලට ගියේ ගෝල්ෆේස් ගිහිං බේරේ ගිය බයියන්, මහින්ද සහ හිස් කරන ලද ඇමති නිවාස ය. ගෝටා යහතින් ඉතුරු වුණු අතර, රනිල් රාජපක්ෂ අගමැති වුණේ ය.

යහපාලන කාලේ රනිල් රාජපක්ෂවරු ආරක්ෂා කර, ඊළඟ ඡන්දයේ දී පහසු ජයක් ලබා දුන්නා අපට මතකය.

අරගලය තීව්‍ර වී ගෝටා පැනලා ගිය පසුව රනිල් රාජපක්ෂ ජනාපෙති වී සරුවපාක්ෂික හොරු එකතු කර ආණ්ඩුවක් හදා ගන්නට යන්නේ ය.

ඇත්තට ම කළ යුත්තේ මොකද්ද? 

පැනලා ගිය ජනාධිපති ආපහු ගෙන්වා නඩු විභාග කර වැරදිවලට සහ දුර්වල ආණ්ඩුකරණයට දඬුවම් කළ යුත්තේ ය. විගණනය ස්ථාපිත කර මහජන දේපළ සහ රටේ ආර්ථිකය සුද්ධ කළ හොරු රැළට දඬුවම් කළ යුත්තේ ය. හොරුන්ට රට පාලනය කරන්නට අවස්ථාව නොලැබෙන හැබෑ රාජ්‍ය පාලන ක්‍රමයක් ඇති කළ යුත්තේ ය.

සැබෑ මහජන නැඟිටීමක ප්‍රතිඵල විය යුත්තේ ඒක ය. 

එහෙම නැතුව එක හොරෙක් බිල්ලට දී අනික් හොර රැළට ආපහු නවත්තපු තැන ඉඳන් කන්නට අවස්ථාව සැළසීම නෙවෙි ය.

මේ වෙනකොට මර්ධනය ආරම්භ වී තිබේ. ඒ වගේ ම පොඩි පොඩි සහන(?) දෙන්නටත් පටං ගෙන තිබේ.

ඒ උනත් විසේසෙන් කියන්නට උවමනා වී තියෙන්නේ, රටේ හැබෑ අයිතිකාරයන් වන මහජනතාව කෝටි දෙකකි. ඒ ගාණ හමුදාව පොලිසිය සහ රට පාලනය කරන හොරු රැළට වඩා කීප ගුණයක් විශාල ගාණකි. දෙතුන් සීයක් මරා දැම්මත්, හොර රැළ එක මිටට අරගෙන මුහුදට විසි කරන්නට සැබෑ පරමාධිපත්‍යයට පුළුවන් ය. ඉන්දියාවේ නිදහස් සටනේ දී කතාවට කියවුනා වගේ, මේ රටේ ජනතාව පාර්ලිමේන්තුවට කෙළ ගැහුවත්, පාර්ලිමේන්තුව කෙළ සාගරයක ගිල්ලවන්නට මහජනතාවට පුළුවන් ය.

අපට මනුස්සයන් වගේ මේ රටේ ජීවත් වෙන්නට උවමනා නං වෙන විදිහක් නැත.



14 comments:

  1. අප මිනිසුන් විය යුතුය සේරෝටම කලියෙන්!

    ReplyDelete
    Replies
    1. නිදි අවදියෙන්...
      අපි දැක්කා ඔබ අරගලයට සම්බන්ධ වුණූ හැටි හදවතින් ම. ඉතින් මේ ප්‍රතිඵලය ගැන සෑහීමට පත් වෙන්න පුළුවන් ද?

      Delete
    2. මම්මලේ, මට නම් සහීමට පත් වෙන්න හැකි ගොඩක් දේවල් අරගලය නිසා පටන් ගෙන; ආරම්භවී තියෙනවා.
      පුද්ගල වන්දනාවට වැදිලා තියෙන පහර විතරක්ම වුණත් ඉතා අගෙයි. ඒවායේ ප්‍රතිඵල දැනෙයි ඉදිරියේදී.

      Delete
    3. සැනසිලි තෑගි ලැබී තිබේ. නමුත් ප්‍රධාන තෑගි නොලැබෙන බව පැහැදිළියි.

      Delete
  2. Replies
    1. කතිරවලින් වෙනස් කළ නොහැකි තැනක දැන් රට පවතී.

      Delete
  3. මට පේන විධිහට මේ ලිපියේ අඩුපාඩු ගොඩක් තියනවා.
    1. නීතිඥයෝ සහ සාධාරණ සමාජයක් වන ජාතික ව්‍යාපාරය ව්‍යවස්ථාවක් හදල තියෙන්නේ. නාගනන්ද කොඩිතුවක්කු මහතාත් එකක් හදල තියෙන්නේ
    2. යහපාලන කාලේ රනිල් රාජපක්ෂවරු ආරක්ෂා කරන්න ගියේ නැහැ. නඩු දැම්ම. ජවිපෙ කියන විධිහට හෝ ඔය අනික් ය කියන විධිහට නඩු ගෙනියන්න බැහැ . කොටිනම් ලංකාවේ එහෙම කරන්න බැහැ . නඩු කියන්නේ කල් ගතවෙන ඒවා. ඒවා යද්දී තමා මයිත්රිපාල කෙලියේ.
    3. බැදුම්කර මගඩිය ලංකාවේ දිගටම තියෙන දෙයක්. දැනුත් ස්ටොක් මාකට් එකේ ඒ ගේම් යනවා. රනිල් ගේ සම්බන්ධයක් ඇති. නමුත් මහා බැංකුව සල්ලි ගෙවන්න කලින් රනිල් ඒක නවත්වල සල්ලි ෆ්‍රීස් කළා. පෙපෙචුවල් සමාගමේ එක අධ්‍යක්ෂිකාවක් ගොඩහේවා ගේ සහෝදරියක්. එතන ගේමේදී රනිල් එයාව ශේප් කරගත්ත. ගෝඨා රනිල් ඇල්ලුවේ නැත්තේ අල්ලන්න බැරි නිසා. ලංකාවේ අධිකරණය .....
    4.යහපලනේදී ගොඩක්ම කෙලෙවේ කිරිඇල්ල, මයිත්‍රී , අමරතුංග වගේ අය
    5. ජුලි 9 බලය ගන්න තිබ්බ අවස්ථාවේ ජවිපෙ මග ඇරිය
    6. පෙරටුගාමීන් ට පෙන්වන තරම් බලයක් නැහැ
    7. අරගලේ පෙඅසපේ හා ජවිපෙ අතරත් ෆොන්සේකා ගේ කට්ටිය අතර නායකත්ව භේද තිබුන
    8. අරගලයේ මුලින් හිටි නිර්පාක්ෂික සෙට් එක වඩා හොඳයි

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි අජිත් මහත්මයා. මම ඔබේ රසිකයෙක්. මෙන්න පිළිතුරු...
      1. ව්‍යවස්ථා මොඩල් හැදීම නෙවෙයි රටේ අවශ්‍යතාව. හරි හමං ව්‍යවස්ථාවක් ස්ථාපිත කිරීම. ඒක පාර්ලිමේන්තුව හරහා නං කරගන්න බැරි වෙයි, එහෙම නැත්තං අමාරු වෙයි. මොකද, පාර්ලිමේන්තුව සාමූහිකව සහ තනි තනිව තමන්ගෙ පෞද්ගලික උවමනා සහ වරප්‍රසාද රැකගන්න කටයුතු කරන ආයතනයක් නිසා. ව්‍යවස්ථාවක් ස්ථාපිත කරන්න එක්කෝ පාර්ලිමේන්තුව බිත්තියට හේත්තු කරන්න ඕනෙ. නැත්නම් විප්ලවයකින් පෙරලන්න ඕනෙ.
      2. රනිල් නඩු දැම්මා. සිස්ටම් එකේ පරක්කුව කියන එක හොඳ උත්තරයක් තමයි. නමුත් ආණ්ඩුව අතේ තිබුණු සහ 19 වෙනි සංශෝධනය ගෙනාපු රනිල්ට ඊට වඩා දෙයක් කරන්න පුළුවන් කම තිබුණා. මෛත්‍රීපාල ජනාධිපතිවරණයට ඇදල දැම්මය කිව්වේ රනිල් මයි. නමුත් අර මහදවාලෙ ගමේ හොරු දෙන්න රණ්ඩුවෙලා රෑට එකට හොරකමේ යනව වගේ ගේමක් යටින් දිව්ව බව තමයි පේන්නෙ. ෂර්ලොක් හෝම්ස් කියනවනෙ, අපරාධය කළේ කවුදකියල හොයන්න නම්, අපරාධයෙන් වාසි වුණේ කාටද කියල හොයන්න කියලා...
      3. බැඳුම්කර මගඩිය කලිනුත් තිබුණා කියන එක ඇත්ත. නමුත් කලින් කිව්ව වගේ ඒකෙන් වාසි වුණෙත් පස්සෙ ආව මහ මැතිවරණයට වියදම් කරන්න පර්පෙචුවල් ට්‍රෙෂරීස් එකෙන් චෙක්පත් ලබා ගත්ත උදවිය ට ම තමයි.
      4. හොරා ඉද්දි ගෝලයන්ට ඇඟිල්ල දික් කිරීම මහින්ද සම්බන්ධවත් ගෝඨා සම්බන්ධවත් මීට කලින් වෙලා තියෙනව. ඒ කියන කතාව ඇත්ත නම්, මහ හොරාට ගෝලයන්ව පාලනය කරගන්න බැරි නම් ඒක එයාගෙ අදක්ෂ බව සහ කළමනාකරණයේ දුර්වල කම. වැරදිකාරයත් වැරදියි. වැරැද්ද කරන්න ඉඩ දීල ඉන්න එකත් වැරදියි.
      5. ජවිපෙ ට බලය ගන්න රටේ ජනතාවගෙ බහුතර කැමැත්තක් නං නෑ. ඒ වගේ ම ජවිපෙටත් ඒ ගැන හරි හමං දැක්මක් තියෙන බව පේන්නෙ නෑ.
      6. ද 5 සේම...
      7. නායකත්වය ට ආ යුතුව තිබුණේ දැනට ඉන්න උදවිය අතරින් කෙනෙක් නෙවෙයි. ඔවුන් මේ ජරපත් සිස්ටම් එකෙන් ෆේල්. විය යුතුව ඇත්තේ රටේ ඉන්නා විද්වතුන් සහ බුද්ධිමතුන්ට උවමනාවක් ඇති වී නායකත්ව මණ්ඩලයක් වගේ දෙයක් ඇති වීමයි. ප්‍රංශ විප්ලවයෙදි සහ සීසර් ගෙ මැද කාලෙදි දැක්කෙ ඒ වගේ දෙයක්.

      Delete
  4. අරගලය අවසන් වියයුත්තේ මෙසේ නොවේයැයි සිතන්නෙමි

    ReplyDelete
    Replies
    1. ඇත්ත. ඔබේ අදහස විස්තරාත්මකව දෙන්න පුළුවන් ද, (කුකුළන් හඹා යාමෙන් විවේකයක් ලද විටක?)

      Delete
  5. යුවාල් නෝවා හරාරි ගෙ අර ප්‍රසිද්ධ පොත කියවන්ඩ ගත්තා මේ මෑතක. එයා කියනවා, මිනිස්සු 150 කට වඩා ගාණක් සාමූහික කරන්ඩ මනුස්ස භාෂාව උපයෝගී වෙන හැටි ගැන. මනුෂ්‍ය භාෂාවෙන් නිර්මාණය කරන්න පුළුවන් හැබෑවට නොපවතින සංකල්ප. ජාතිය, ආගම, වගේ දේවල් ගැන හැඟීම උදාහරණ. ඒ සංකල්ප යටතේ මිනිස්සු (පෞද්ගලිකව එකිනෙකා නොහඳුනන නමුත්) එකමුතු කරලා සාමූහික අරමුණක් වෙනුවෙන් වැඩ කරවන්න පුළුවන්.

    මනුස්ස ඉතිහාසය ගැන බැලුවම, මට හිතෙන්නෙ මානව අයිතිවාසිකම්, නීතියේ ආධිපත්‍යය, ප්‍රජාතන්ත්‍රවාදය, සමානාත්මතාව වගේ සංකල්පත් ඔය වගේ තමා. ඇත්තටම ක්‍රියාත්මක වෙන්නෙ කැලේ නීතිය. නමුත් ජාතික රාජ්‍යයක් පාලනය කරන්න සහ මහජනතාව ඒකාත්මික කරලා රටට පක්ෂපාතී කරගන්න ඔය සංකල්ප යොදා ගැනෙනව.

    මට හිතෙන්නෙ නං මම්මලේගේ අදහස සහ අරමුණ මේ මිහිපිට යතාර්ථයක් වෙන් නැති බවයි. කොහෙවත් මම දැකලා නැහැ ඒ වගේ මහජනතාව විසින් රට පාලනය කිරීම සඳහා යාන්ත්‍රණයක් නිර්මාණය කරගත්ත අවස්ථාවක්. කිසිම විප්ලවයකින් එහෙම වෙලා නෑ. වෙලා තියෙන්නෙ බලවතා විසින් දුබලයා පාගාගෙන තම සුඛ විහරණය පිණිස හදාගත්ත සිස්ටම් විතරයි.

    ReplyDelete
    Replies
    1. කැලේ නීතිය කොහොම උනත්, සමාජය වැඩවසම්, ධනවාදී ආදී වශයෙන් පරිණාමය වුනේ ම අපි වගේ පවතින ක්‍රමයෙන් සෑහීමකට පත් නොවුණු උදවියගෙ අවශ්‍යතාව මත. මනුස්සයෝ උපතින් සමානයි නං, මේ පොළොවෙ ඇයි සමානව නිදහසේ ජීවත් වෙන්න බැරි? මේ ක්‍රමයෙ තියෙනවා නේද බරපතළ අසාධාරණත්වයක්?

      Delete
    2. කෙසේ වෙතත්, ගොඩක් ස්තූතියි ඇවිදින් අදහස් දැක්වීම ගැන.

      Delete
  6. මුලදි තිබ්බෙ නිර්පාක්ෂික, අයිතිකාරයො නැති ලස්සන අරගලයක්. "එහෙම කොහොමද?" කියලා, සහෝදරවරු අරගලය හයිජැක් කලා. ඉතිරිය ඉතිහාසගතයි...

    ReplyDelete